Thursday, May 26, 2011

කොට්ටන් ගසේ ප්‍රේමය. . . .

තව වරක් තැවරෙමි
නුබේ මුදු වත මඞලේ
කොළ අතු විහිදුවා
සෙමෙර සලමින් නුබට....
මතකද ඒ යටගිය දවස?
අලු ගසා රිකිලි ලා මා නැගෙන කල
පුංචි පැල් කොටයක් ව
ඔහේ බලාහුන් නුබ,
මගේ නාබර උසට තරමට
මහා ගොඩනැගිල්ලක් වී අද..!!
සිප ගනිමින් නුබේ නලළ'ත
සෙමින් විමසමි මම,
"එනු ඇත මුවතල හයාගෙන
අත් පොරෝ කෙටි
හෙට දිනයක..
‍රැගෙන යනු ඇත
මා නසා අත් පා ද සිද බිද...
කියනු මැන පෙම්බරිය
මා නැති එවන් දිනයක,
නුබ ගොලු ව ඔහේ හිදිනවා ද,
නැතිනම්
ළය පැලී
ගුගුරා හැලෙනවා ද?????

Saturday, May 21, 2011

??????....

රුවට ලොබ බැද
නුබට සිත බැද
දක්වා ලොවට තෙද
වයා බෙර සක් නද
පතා ආ ලෙසය සිතමින
දරු මලුන්ද සපැමින
මිටින් ගත් ඉග සුග
රිය සක වන් පුලුළුකුල
බුරුත ලෙද නෙර එනකල
නර කෙස් ද සමගින
සෙමින් වියපත් ව යන සද
අන් රූ දසුන් වෙත
ඇදී යන්නට මසිත
කිම් ද මේ අරුම කාරණ????

Thursday, May 19, 2011

අපි.....

 ඉර එලිය වැටී
දිලිහෙන කලු බදට
පෑහෙන කලු වීදුරු ද
මියුරු සත්සරය වෙලාගත්
මුදු සුමුදු ආසන ද
රම්‍ය සුරම්‍ය වූ සිසිලස මැද
ඇන්ජිමට සැර දම දමා
ඉහිලුම් නැතිව ඔබ හිදින කල
කඩුල්ල අභියස
මේ කබල් ආසනද
සිදුනු බිදුනු කවුලු පත් හා
තෙල් දූලි වැකුනු බදට දරාගෙන
මම යන්නම්
ඔච්චමට
පොඩි හූවකුත් කියාගෙන....!!!!

Wednesday, May 18, 2011

රිදුම....

සෙමින් පිරිමැද ගනිමි
තැලුනු පොඩි වුනු රිදුනු මසිත
ඈත් වී ගිය පසු
සදවත
පිය තබා තරු පාවඩය මත...
වත පුරා තවරන කල
මුදු සදකැන් දොවා
සිතුනේද මොහොතකට වත්
හැර යතැයි මෙලෙසින් මා
දැනෙයි සිහිලස එදා සුව විදි
පහුරු ගාන කල සිතේ අහු මුලු
කෙසේ නම් මකාලන්නද
සදවතිය, මා නුබට බැදි පෙම!!
අනේ කිව මැන සදවත,
මේ රිදුම මටම පමනද??????

Tuesday, May 17, 2011

හොයන්න.....

හැංගිමුත්තම් සෙල්ලමක්
කරමු ද අපි දෙන්නා?
ඉතින් අපි මොනවද හොයන්නෙ
හංගලා?
ආහ්.... ඇයි? මගෙ හදවත?
ඔන්න පියා ගන්න ඇස් දෙක
ඉතින් දැන් මම ගනින්නම්
එකේ ඉදං සීයට....
අනේ ඔබ සොයන හැටි,
එහේ මෙහේ බල බලා..
ඔන්න ඔය ක‍ටු ලැහැබෙ නෙමේ
කන්දු වැටිය පාමුලත්
ගං ඉවුරු වැටි වලත්
බලලා වැඩක් නෑ...
අසූවයි... අසූ එකයි....අසූ දෙකයි....
මල් දෙවැට ලංග නෙමෙයි...
අනූ නමයයි..... සීයයි....!!!
ඇයි ද වෙහෙසුනේ ඔය තරම්!!
හති දමන ඔයා ලංග ගැහෙන්නේ
මගේ "හදවත" ම කියා
අමතක වුනාද....
මොහොතකට..?????